Wednesday, September 26, 2018

මොනවද මේ CD, DVD, VCD සහ Blue-Ray?

        CD, DVD, VCD යන මේ තැටි සංයුක්ත තැටි ලෙස පොදුවේ හදුන්වන්නට පුළුවන්. ඒ ඒවා නිපදවන්නේ එකම තාක්ෂණයකට අනුව නිසාය. වෙනස තිබෙන්නේ එහි තොරතුරු ගබඩා කරන ආකාරය අනුවය.

        සංයුක්ත තැටියක් CD තැටියක් කියා හදුන්වන්නේ "Compact Disc " යන වචන දෙකින් "C" සහ "D" යන අකුරු දෙක ගැනීමෙනි. DVD  යනු "Digital Versatile Disc" හෝ "Digital Video Disc" ය. VCD  යනු "Video Compact Disc"  ය.

             මේ හැම තැටියක්ම තැනී තිබෙන්නේ ප්ලාස්ටික් තට්ටු දෙකක් අතරට ඉතා පිරිසිදු තුනී ඇලුමිනියම් තහඩුවක් රැදවීමෙනි. තොරතුරු දීර්ඝ කාලයක් රදවාගැනීමට අවශ්‍ය නම් මේ තහඩුව රත්තරන් වලින් නිමවා ගනී. තැටියේ මතුපිට ඇත්තේ තුනී ඇක්‍රිලික් ප්ලාස්ටික් තට්ටුවකි. යට පැත්තේ ඇත්තේ ඝන පොලිකාබනෙට් ප්ලාස්ටික් තට්ටුවකි.

       තැටියේ තොරතුරු ගබඩා කරන්නේ ඇලුමිනියම් තහඩුව මත වළයාකාරව කුහර(pits) ඇති කිරීමෙනි. මෙම කුහරයක් අඩු තරමින් නැනෝ මීටර් 100ක් ගැඹුරුය. නැනෝ මීටර් 500ක් පළලය. එහෙත් අඩංගු කරන තොරතුරු අනුව මේ කුහර වල පළල හා ගැඹුර ස්වල්ප ලෙස වෙනස් වේ. වළයන් පිහිටි කුහර දෙකක් අතර දුර මයික්‍රෝ මීටර් 1.6ක් පමණ වේ. කුහර දෙකක් අතර කොටස හදුන්වන්නේ නෙරුමක්(lands) ලෙසය.

         CD තැටි වල තිබෙන නෙරුම් දෙකක් අතර පරතරය(1.6μm) ගත් විට CD තැටියක නෙරුම් දෙකක් අතර දුරට වඩා DVD තැටියක නෙරුම් දෙකක් අතර දුර(0.74μm) අඩුය. Blue-Ray තැටි වල තිබෙන නෙරුම් දෙකක් අතර පරතරය (0.32μm)වේ. එනම් වැඩියෙන්ම තොරතුරු ගබඩා කර හැක්කේ Blue-Ray තැටිවලය.


        CD තැටියක ගබඩා කල තොරතුරු කියවන්නේ එහි යට ඇති පොලිකාබනෙට් තට්ටුව මතට විදිනු ලබන 780μm තරංග ආයාමය සහිත අධෝරක්ත ආලෝක ධාරාවක් මගිනි. මෙය තැටියකට වැදුණු විට එය පරාවර්තනය වෙන්නේ තැටියේ ඇති නෙරුම් හා කුහර වල රටාව අනුවය. ඒ පරාවර්ථීය රටාව ප්‍රතිග්‍රහණය කරන්නේ  සීඩී රයිටරයේ ඇති සංවේදකයයි.  ඉන්පසු එය පරිගණය වෙත යොමු කරයි. එවිට එහි ඇති පරිපථ මගින්  එහි ගබඩා වී ඇති තොරතුරු  කියවිම කරනු ලබයි. DVD තැටියක තොරතුරු කියවීමට යොදා ගනු ලබන්නේ 650μm තරංග ආයාමය සහිත රතු ආලෝක ධාරාවකි. එසේම Blue-Ray තැටියක තොරතුරු කියවීමට යොදා ගනු ලබන්නේ 405μm තරංග ආයාමය සහිත නිල් ආලෝක ධාරාවකි. 


(චායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

        මේ සාමාන්‍ය තැටි වල විස්තරයි. ඒවා ස්ථීරවම තොරතුරු ගබඩා කොට ඇති ඒවා හෙවත් ROM (එනම් CD ROM සහ DVD ROM)ය. එහෙත් එක වරක් තොරතුරු ලිවිය හැකි හෙවත් R(එනම් CD R සහ DVD R) සහ නැවත තැවතත් තොරතුරු ලිවිය හැකි හෙවත් RW (එනම් CD RW සහ DVD RW) මාදිලියේ තැටි වල තොරතුරු ලිවීමට ඇලුමිනියම් තහඩුවක් නොව, වර්ණ රසායන ද්‍රව්‍යයක්  හෙවත් ඩයි තට්ටුවක් යොදා ගනී.  CD හෝ DVD රයිටරයෙන් නික්මෙන ආලෝක කදම්බය හමුවේ රත් වෙන මෙම ඩයි තට්ටුවේ තැනෙන වළයාකාර කුහර ඇසුරෙන් එම තැටි වල තොරතුරු ගබඩා කෙරේ. මෙහිදී වර්ණ වශයෙන් සයනින් (cyan-ine) යොදාගත් තැටි කොළ පැහැතිය. තැලෝ සයනින්(pthalo-cyanine) යොදාගත් තැටි කහ/රන් වන්  පැහැතිය. නිල පාටින් ඇත්තේ මෙටල් ඇසෝ (metal-azo) වර්ගයේ ඩයි යෙදූ තැටිය. 

0 comments:

Post a Comment